සැළලිහිණි සන්දේ ශයSalalihini sandeshaya


සැළලිහිණි සන්දේශයSalalihini sandeshaya



ආසිරි

01. සැරද සුලකළ’ කුරු
මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය
සියනි’හි සැළලිහිණි සඳ
සැරදේවා


දූත පැසසුම්

02. පුල් මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග
සපුමල් කැලෙ’ව් තුඩ මඳ රතිනි මනහර
නිලුපුල් දෙලෙ’ව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූ එව් - එබැවින් නුබින් එන වර

නිලූ ද ලද සිද’ඹුවො දිගු වරල නිලූ
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලූ

වනදෙව් ලියෝ නොකොළොද සවන අබරණ
සෙනහස බැඳුණු තැන නොහරින කර දියුණ
වෙන සැප කුමට තොප දකිනා එම පමණ

03. ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බව දැනිණි


කටයුතු දැනුම් දීම 

04. මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩ මතෙපළ එවැනි ගුණ ඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති

05. පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර
ලෙව් තුර සුසැදු යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට පවර

06. ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට
විලසින් මෙමා කරවන මිතුර මන් තුට
එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට


ජයවර්ධනපුර (කෝට්ටේ)

07. පොහොසද් දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජයවද්දන කෙරුමෙන් සුසැදි තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා

08. සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
රැඳි රළ රැළැති හොය දියවන්නා නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති

09. සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවළ ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියලිය පවුර

10. දුවන බඳ කිකිණි හය කුර පහර නද
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර නිබඳ

11. සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
විපුල් රත් සෙමෙර බඳ රන් දද සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල

12. තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර

13. සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රියසකයුරු තිසර තන
දිසි රන ලියෙව් රූසිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

14. සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින
කිනුරු නිසසරන් කදහස වෙත නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන


සුබ ගමන්

15. උදේ සැපත් සුරගුරු අලුකර අවට
සඳේ මුදුන් පත අස්විද නැකත සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට

16. නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි


දළදා වැඳ

17. ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමදා සිරි සගමොක් සැප නිසැදි
ලද මුනිඳා දම් කඳ පහස මන බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳි


රජු දැක

18. ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිඳු
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු

19. රිවි බිම්බා යුරු රිවි කුල කමලකර
පියුමම්බා නිතොරව රැඳි උර මැඳුර
මෙනරම්බා හිමි රූ සිරිනි පැහැසර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර

20. උනු නොව බරණ සිවු සැට වොටුනුත් පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන් මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ නොසිඳ
ගනු අවසර එනිරිඳු සිරි පතුල් වැඳ


පිටත්වීම: ගමන් මග

21. පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්

22. කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතල
කර ලොල් සතන් පවසන තියුගී දෙමළ
මනකල් ඉසුරු කෝවිල ලගිනේ ලකළ

23. වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර
ගොස අලුයම් පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර

24. උදා ගිරි කසුන් රිටි වැට හිස බැබළි
එදා සහසකර පහනෙව් කරත හෙළි
යොදා නුවන් ඉසුරුට කරන පුද කෙළි
විදා පියා නිලඹරයන් නොවී මැළි

25. සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

26. ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
රනේ යටග සැවුළිඳු දද ගළපාය
අනේ ලකර කළ පුර අප නර පාය
පෙනේ දකුණ මහසෙන් දෙව් රද පාය

27. වලඳින අදහසින් මෙන් සුරගඟ අඟන
නලබල සසල දළ රළ පෙළ නුබ නැගෙන
වෙලළස ගැවසි මුතු සක් පබළු බබළන
බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනන

28. සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන්මන් තොසින් මඟ තොරතුරු නියම දැන

29. නිල තුරඟුට නැඟෙමින් රිවිදෙව් සිරින
දුල කර සේසත් මිණි බරණ කිරණින
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන

30. අග පිපි මල් මලිගිය ලිය කැලේයා
වග බැඳ හෙන රජහස පුල් විලේයා
ළඟ තුරු මල් ගිලිහුණු රොනවුලේයා
මඟ බැස යව පළ හෙළ වැලි තෙලේයා

31. අයිරාවණ වුවත් නවතන රිසින් එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින
වයි යා කරන් මල් තුරු ගන වන හිසින

32. නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලියමඬු ලියගෙපෙළ
එකල් කෙළින වන දෙව් ලිය දැක කොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිලළ

33. මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම දැක යාගන් සහතොසිනි

34. කස්තුරි තිලක සැදි නළලත සුමටාන
පුල්මහනෙල් මල් දම් හිස දවටාන
සලෙලුන් යනෙන නිති කර කෙළි කවටාන
රිවි මුදුනතෙහි වන මැද වදු සුමුටාන

35. මඟ නිලමින් සිටි නා දොඹ නී පියල
පියසලමින් මලගෙහි කෙළ රොනිනවල
තතුඩ ලමින් බිඳ විලිකුන් මියුරු පල
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ පඳුරුවල


36. රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී
මතකොවුලේ තුරු වදලේ හඬන නිසී
වනසැවුලේ මඟ අසලේ පොර සැලසී
ගුරුබැවුලේ යව අවුලේ නොවී කිසි

37. වනසිරි පියුම්රා බඳ රනබරණ යුරු
වටපිරි සුපුල් දුනුකේ මල්මුරුත තුරු
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු

38. සලාදුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලා ගෙන කනත
කලා පිලා නොව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු කෙත

39. බන්නේ මරාමිණි දුල පබළු මුතු පට
වැන්නේ ගමඹුගෙල පල මල් කුමුකු වට
ගන්නේ තසිත එබැවින් නොවැද කෙළියට
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට

40. අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැන විලිකුළු කිරළාන
පැසී නැමි කරල් රත් හැල් සහළාන
වඩින මැනවි මහවෙල මැද වෙරළාන

41. පත් ගන පුල් මල් දොඹතුරෙක පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින් අතුරු
ගත් සරතැස හැර විඳ සුවඳ මඳ මරු
කිත්සිරිමේ වෙහෙරට වදුව පස්වරු

42. සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු මනරම
වඳනෙහි තෝ දාගැප් මහබෝ පිළිම


කැලණි ගඟ

43. සල් සපු කීණ දොඹ රෑරඟ නා මිදෙලි
පුල් එරහැඳි හෝපලු මීඅඹ පළොලි
පොල් පුවකිඟු රඹ මලබුලත සලිමලි
නිල් ගන සා සෙවණලු දෙතෙර මනකලි

44. ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල
සලසා උකුළු වට රසුදුළ මිණි මෙවුල
සකසා දෙතන හර සඳුනෙන් කර සිහිල
දෙපසා ඉසින නිල් පැහැ නෙත දිගු පුළුල

45. මනහර නා මණෙවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙව කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

46. සපුමල් යොහොඹුලා බැඳ වරල මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හරකර ලා තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල් රඟ
දහවල් උයන් කෙළි කෙළ සළෙලුන් සමග

47. නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි රතුපුල
පවනින් අඹළ රනලිය වන් ලියන් කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළ නිමුණු කල


සැඳෑ වැනුම

48. වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබතුර විපුල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල

49. මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
නිසැකින් නොහළ යුතු බව පමණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
නුබමින් සමග ගෙවෙනුය දවහල් දවස

50. සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ
සැදෑ සහසකර එන මහවත සැලසූ
විදෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ
සැඳෑ වලාපෙළ පැළදිග පෙනුණු පසූ

51. උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන්තල සිරි යහනැ නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ

52. දනකැන් ගෙන දමන ගොදුරට නොහැකි ළිය
පනිමින් දියෙන් ඔවුනොවුනැඟෙහි පෙරළිය
ලෙහෙලුන් කෙළින කර පෙණපිඬු රළ රැළිය
එතැනින් පියාසර කර දකු මස්කෙළිය


කැලණිය

53. පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට

54. දියකඳ ගැඹර පිරි පුවතර මහ සයුර
මුවරඳ ලෙසින් වත අගතිසි කර තඹර
මනනඳ කරන මිණිගන මෙන් දිසි එවර
පැහැනඳ පහන් එහි මහවෙයැ බල මිතුර

55. උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
පෙරදිග පෙනෙත සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳකත ගෙහඹින් වැඩුණු
සුරගඟ පතිනිදම් රැකුමෙහිම නියැලුණු

56. සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබළු
විපුල් පුලින රඹ සිකිගල මුතු ළදළු
ළකල් රනලියන් සරනා බල යහළු

57. ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් ම‍ඳොසිනැද දෙත දුනුකැන් දුහුල
සොඳ පුර අඟන පහසුමුගින් පැහැ උදුල
සෙද දුන් අඹර මතු ඇය රැස් මිණි මෙවුල

58. තවර කර කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල්දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
එපුර ඉඳිති සඳපානේ සඳුලුවල


කැලණි වෙහෙර

59. මුවලඹ රඹ වලුබර රන් තැඹිලි තුරු
සැදි ගෙවුයන් ගෙවමින් වේ මඟ අතුරු
කරකැවෙමින් දකුණට අවුදින් මිතුරු
වදු වෙහෙරට සිහිකර නවගුණ මතුරු

60. දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනුවස් පියයුග ඔබා බිම
සියසක් පුරා දුටු මෙන් තුටුව මුනි තුම
වඳු ලක්තිලක ගෙහි වැඩ උන් මහ පිළිම

61. පෙර දලනිඳු දියකඳ රට බිම් ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ සත
මනකල ඒ සමුදුර පැහැයෙන් දිමුත
වඳු සල පිළිම හිමි සිරිසරණ සියපත

62. ගිලිය නොදී සැටමහණන් බව මහණ
මලියදෙව් තෙරිඳු වැඩහිඳ දෙසූ බණ
දිලිය පස්මහල් පායෙහි මිණි කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා කලණ

63. පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙදිගු බිත
සැදි වටදා ගෙහි වඳු දා ගැබ දිමුත

64. දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින් ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග

65. අහසින් අවුත් මිණිඅක් නයිඳු යැදුමට
රහතන් මැදෙහි වැඩහිඳ මිණි පලඟ පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට
මහ දාගප් හිමින් වඳු සොළස තැන් සිට

66. සවන සතිය වැසි වසිනා දස දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි
සවන හිඳිනු දන නඳනා නෙතු යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි

67. සසරින් මුදා ලෙව් සදහම් අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කර සමාදී

68. අප මුනිඳූ බුදු වන දින මුරුන් පිදූ
පැහැ විහිදූ දිලි කල දෝ යටින් යෙදූ
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක බඳූ
වැඳ දුමිඳූ වන පින්පල තඅත් බඳූ

69. විටංක පැකිලිඳු දකුණස දොරටුයෙන
නිසංකයෙන් පුද නන් තුරු ගොසසමින
කලංක නොව කළ සුබ ලකුණු බබළන
තිවංක නම් දෙපිළිම නැමඳ බැසගෙන

70. සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ඬෙක සැටි
සිහිලළ ගඟ සිලිල් සනහා මුනි නො ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරව වැඩ සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි

71. නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩඋන් පිළිම හිමි නමඳින්යහ දසන


දේවාලයෙහි නැටුම

72. පිරිසිඳ නොදත හැකි මෙවැඳුම් පින් පඬුරු
මනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පායවන් විජයොත් නම් මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු

73. පුලා සුවඳ මලවුල් කර වරල් බැඳ
දුලා රන් පතින් සරසා සවන් සොඳ
නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟමඬල කල්බඳ

74. විදෙන ලෙළෙන නරුබර පුළුලුකුල රැඳී
හෙළන නගන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී

75. ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සලඹ රැව් දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා

76. වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු
රැස් වූ සෙයින් සත්සර රස ගී සොඳුරු
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු


විභීෂණ දිව්යකරාජයා

77. මෙසේ පැවති අනතුරු ගී රැඟුම් පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන් මැද
යසේ පතළ දිය තුළ උතුළ මන නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු සඳ

78. පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත
සරණ මුළු ලොව‍ට එසුරිඳු සිරස පත
කලණ කිරුළ දිසි මුතුලැල් රුවන් යුත

79. සුනිලේ පැහැය හැර සුදුවනුය ගන වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ වියවුලේ
නිසලේ එ මේ සිරි ගත් සුරිඳු හැම කලේ
උදුලේ දොහෝ රන්පට මෙන් නළල් තෙලේ

80. රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල මෙනේ
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම දිනේ
සොබනේ කනා කැටපත් යුවල විලසිනේ

81. නමකළ සතහැලේ සිහිලේ සැප සිලිලී
බියසෙණ රුපුකැලේ තුමුලේ දෙන නොකලී
නළලත ගිරිතෙලේ සුනිලේ රැසිනිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි කියලී

82. සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ
මිතුරු තඹුරුවන නිරතුරු පුබුදු කළ
අතුරු තුසර සිඳුවන දැකුමෙන් පහළ
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත් සඟල

83. යසගාන කළ තැන තැන සිදඟනන් සැදී
නොළඟා එහිමි දිගු තුඟු නැහැයට වොරැඳී
සමගා රදුන් දෙවියන් සෙවුමින් නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස විඳී

84. සිරිසර හිඟුල් විල සේහස වැළෙව් ගන
සුරවර සලෙළ රත ලවනත දළ දුලන
මනහර සඳ වලා පෙළ කෙළවර පෙනෙන
පැහැසර ළසඳ යුවළෙක් ඇත්නම් එමෙන

85. කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළපලු ඇති
දනා කැමති දෙන පලඹත එසුර පති
දිනා දිමුතු අතුසිරි සුරතුර පැවති

86. පානා සෙනේ සුසිනිඳු මඳලස බැල්ම
ගානා නිමහමෙව් දෙවඟන නෙත් කැල්ම
නානා සුරිඳු පුළුලුර සිරි සඳ ඇල්ම
නූනා කෙළන ගලතල වැනි ඉඳු නිල්ම

87. ලකුළු පුළුලුකුළු වට බිම එසුරවිරූ
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුලතුරූ
නැබුළු සොඳුරු සුසිලිටු වටොර රඹ තුරූ
බැබළු සිලිල් ඉසිනා විලස සිරි දැරූ

88. වඳනා සුරන් කිරුළග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින් මනා
මඩනා බැවින් සියපත එහිමි පතුලෙනා
බියෙනා ළතඹ හෝපලු සදිසි වෙවුලනා

89. වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු
බැලුවන් ඇලුම් කරවන යළිදු බියකරු
සිරිපින් රුවන් පිරි එසුරිඳු සයුර යුරු
මුවෙකින් කියා නිමවිය හැකිද රූසිරු

90. ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරිද කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලන පොකුරඹ හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසිනි

91. මන් පිනවන යස සිරි තෙද නැණ විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු සියල
දෙන්නෙන් පැතු විට සුබ වැඩ දිගා බල
පින් නම් සතුන් කළ දෙව් රජමය මෙකල

92. තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
තුන් විටෙකම වඳු එසුරිඳු පා තඹුරු


සන්දේශය

93. අනතුරු බලා අදහස අවසර විගස
යුහුසුළු නොවී සලකා පසු පළමු බස
පෙරදැරි කොටම සුරිඳුට තියු වදන් ගොස
සැළ කර තගිය කටයුතු සිට එකත් පස

94. තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර
පුවතර ගැඹර සමුදුර කැලුම නිලඹර
සොමිබර පවර නිසයුර නුවණ සුරගුර
සුරවර සැරද විබිසණ නම් කැලණි පුර

95. රජකුල සුපුල් විල රජහස වන් සරන
පෙර මල වියාවන් රුසිරෙන් මන නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින් තෙවුන

96. ගරුතර නන්නූරුතුනයා නමැති මැති
සිහිකර නිතර මහ පුද පඬුරු දී රුති
නොවිසිර ඔබට දන්වන ලෙස කී සිතැති
සුරවර මඳක් කල් එපවත් ඇසිය යුති

97. රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද
පැහැදුල සරාකල් පත් සහස කර බඳ
කිවි කැල ගෙලට මුතුහර වන් යස පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද

98. හළ දුසිරී දැන තෙවළා මුනිඳු බණ
කෙළ පත් සියල් අවි සිප් කව් නළු සතණ
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා නැණ
කළ මුළු ලක්දිව එක සේසත් සෙවණ

99. සත නෙත දුන් රූසිරි රස අඳුන් වන
පත නර ලොව පුරඳර සිරි හඳුන් වන
විකුමෙන් මෙ දඹදිව නිරිඳුන් මුදුන් වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන් වන

100. සිරි සඳ වන් සව්සිරි දියුණුව රඳන
සිතුමිණ වන් යැදි යැදිනට දනින් දෙන
සරසවි වන් නුවණින් පහළ ව පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින් වඳින

101. යෙහෙළින් කෙරේ සකි සැප සමග සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින වත්මේ
රකිමින් පතිනිදම් යහපත් සිරිත් මේ
සිහිනෙන් නිපන් වැනි දස පින් පැවැත්මේ

102. මිහිරි තෙපල තන්වැසි කිවිකම් පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම පිරිසිදු
සසිරි උලකුඩය දේවී හට පසිඳු

103. දිත් රුපු කිරුළු මල්දම් සුවඳ මී වැස
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස

104. බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල මහරු

105. එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් ගෙන
පුදමින් එසුරවර සිරි සරණ වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ කියන
දුන පින් සමග යස සිරි වඩි පුත් රුවන


106. මෙහසුන් සුරිඳු හට සැළකර මෙසේයා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේයා
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේයා‍
කියමින් යදින් සකිසඳ මෙම ලෙසේයා

107. පැහැපත් පුන් ස‍ඳෙව් කිරි සමුදුර පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
නැවතත් එකලාව අවසර ලැබුණු විට
මෙපවත් කියව සැළ කරනුව සුර රදුට


ආසිරි

108. මේ සියලුම අදහස කුලුණින් ගිහිණි
සේ සිය පත සලසා උදය දිනමිණි
නෑ සිය ඉටු මිතුරු සමගින් සැළලිහිණි
වා සිය පවතු සිතු ලෙස සැපතින් පැමිණි

පැරකුම් රජුට පන්තිස්වන නවම් මස
මනරම් කර බඳුතු මෙහසුන් නොවී ලස
අයැදුම් ලෙසට සිදුකර කිවිඳු අදහස
දෙව්රම් මිතුරු දිනි ගබ බිසොවට සකස

සතිස් වන නවම් පුර අස්ලිස නකත
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරු පෙනෙත
සහස් කර කුලට වැඩ වන ලෙස සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම් පත

කඳවුරු කුල මැඳුර මිණි පහනෙව් සුසැදී
නැණ ගුරු සබස සමයද දැනුමෙන් වොරැඳී
රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදී
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න යෙදී

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha